අවුරුද්දට අලුත් වෙන්න

වසන්ත මාසේ එහෙමත් නැත්තම්, බක් මාසේ භාග්‍යවන්ත මාසේ අපි හැමෝටම විශේෂයි. මල්ඵල බර වෙලා, දකින දකින තැන හරිත පාටින් ගස්වැල් දිලිසෙනවා. අව්ව නම් ටිකක් සැර වුණත් පරිසරයේ වෙනස්කම් ගොඩක් වෙන මාසයක් වෙලා. කොල හැලිලා, මළානික වෙච්චි ගස් සේරෝම පණ ඇවිත් මේ ලක ලැහැස්ති වෙන්නේ අවුරුද්දට.

පරිසරය ලක ලැහැස්ති වුණාට මොකද අපිත් ඒ විදිහටම ලැහැස්ති වෙනවා. ගෙවල් දොරවල් පිරිසිදු කරනවා. බිත්තිවල තීන්ත ගානවා, වත්තපිටිය අස්පස් කරනවා. ඒ විතරක්යැ කාන්තාවෝ එහෙමනම්, අවුරුද්දට ලස්සනට ඉන්න කොන්ඩේ එහෙම හදාගන්නවා. සැලෝන් යනවා. මේ හැමදෙයක්ම අපි කරන්නේ ඇයි? අවුරුද්දට ලැහැස්ති වෙන්න නේද?

අපේ වත්තපිටිය, ගේදොර විතරක් අපි අලුත් කරගන්න ලොකු මහන්සියක් වැය කරනවා. සල්ලි වියදම් කරනවා. කාලය වැය කරනවා.

මම අහන්නද ඔයාගෙන් ප්‍රශ්නයක්? ඇත්තම උත්තරේ දෙන්න.

ඔයාගේ බාහිර පරිසරය විතරක් අලුත් අවුරුද්දට වෙනස් කරගත්තට ඔයාගේ සිතුම් පැතුම්, ආකල්ප ඔයා වෙනස්කරගෙන නෑ නේද? ඒක එහෙමනම්, අලුත් අවුරුද්දෙන් වැඩක් තියෙනවද?

මිනිස්සු විදිහට අපි කාගේ අතිනුත් වැරදි සිදුවෙනවා. පොඩි වැරදි, ලොකු වැරදි කියලා වෙන් නොකලට ඒ හැම එකක්ම වැරද්දක්නේ ඉතිං. වැරදිත් ඉතිං දැනගෙන කරන ඒවා වෙනයි. නොදැන කරන ඒවා වෙනයි.

කෙනෙක් නොදැනුවත්කමට වැරද්දක් කරලා පස්සේ පසුතැවෙනවානම්, ඒ මනුස්සයාට සමාවක් දෙන්න පුලුවන් නේද?

වැරද්දක් බවත් දැන දැනත් වැරදි කරන සමහරු ඉන්නවා. කරන්න දෙයක් නැතිම තැන, (තමන්ට තමන්ව පාලනය කරගන්න බැරිම තැන) වැරදි කරන අයත් ඉන්නවා. ඒ වගේම එයාලා පසු තැවෙනවා. ඒ පසුතැවීම ගැන එයාට පාපොච්චාරණය කරනවානම්, ඇත්තටම ඒ මනුස්සයා අවංක මනුස්සයෙක්. ඒ මනුස්සයාම ඔයාට සමාවක් දීලා අලුතින් හිතන්න පුරුදු කරන්න පුලුවන් නේද?

අපි කතාවට කියනවානේ කාන්තාවන්ට ලේසියෙන් මොකුත් අමතක වෙන්නෑ කියලා. ඔයාගේ හස්බන්ගේ, බෝයි ෆ්‍රෙන්ඩ්ගේ අතින් වෙච්චි වැරද්දක් ගැන කිය කිය, ඔයා නිතර දෙවේලේ හොද හෝද මඩේ දානවානම්, ඔයාගේ බිරිඳ/ ගර්ල් ෆ්‍රෙන්ඩ්, කරපු වැරදි ගැන කිය කිය පරණ කුණු අවුස්සනවානම්, ඔයාට මේ අලුත් අවුරුද්ද අලුත් කරගන්න බැරිවෙයි.

ඒක නිසා මේ අලුත් අවුරුද්දේ අලුතින් හිතන්න. ගේදොර වටපිටාව වගේම ඔයාගේ ඇතුළාන්තයත් අලුත් අවුරුද්දට අලුත් කරගන්න.

රංගන වඩුගේ.

Facebook
Facebook