අපේ මානසික සෞඛ්‍යය යහපත් මට්ටමින් පවත්වා ගනිමු.

අපේ මානසික සෞඛ්‍යය යහපත් මට්ටමින් පවත්වා ගන්න අපිට කරන්න පුළුවන් මොනවද? බ්‍රැන්ඩික්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක මනෝඋපදේශිකා රුවනි ජයලත් වන ඇය අද පිබිදුණු දිවියක් හරහා කතා කරන්නේ ඒ ගැන.

ඇය කියන අයුරින්, අපේ මානසික සෞඛ්‍යය යහපත් මට්ටමින් පවත්වා ගැනීමට කාරණා හතරක් සම්පූර්ණ කිරීම අවැසි වෙනවා. පළමුවැන්න තමයි කුමන කාර්‍යයක වුවත් නිරත වීමට අප කායිකව මෙන්ම මානසිකවත් ශක්තිමත් වීම. දෙවැන්න හැඟීම් තේරුම් ගැනීම හා ඉගෙන ගැනීම. අපට විවිධාකාර හැඟීම් ගණනාවක් ඇති වෙනවා. ඒවා මොනවාදැයි තේරුම් ගැනීම හා ඒවා ඉගෙන ගැනීමෙන් අපට අපගේ මානසික සෞඛ්‍යය ශක්තිමත් කරගන්න පුළුවන්.

තෙවැනි කාරණය ගැන ඇය දීර්ඝව කතා කළා. “අපට අප වෙනුවෙන් අපවම සතුටු කර ගැනීමට අවශ්‍ය දේවල් කිරීම හා අපේ මූලික අවශ්‍යතාවන් වලට මුල් තැන දීමෙන් අපට අපගේ මානසික සෞඛ්‍යය ශක්තිමත් කරගන්න පුළුවන්. අපේ මූලික අවශ්‍යතාවන් වන ප්‍රමාණවත් තරමින් ජලය පානය කිරීම, පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම හා ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම යන කරුණු අපි ඉටු කර ගත යුතුයි”

ඇයට අනුව අපේ මානසික සෞඛ්‍යය ශක්තිමත් කර ගැනීම සඳහා සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඊළඟ කාරණය වන්නේ අපේ අවශ්‍යතාවන් හා වටිනාකම් මොනවාදැයි අඳුරා ගැනීම හා ඒවා අප සමඟ සිටින පිරිසට පැහැදිලිව සන්නිවේදනය කිරීමයි.

මේ කාරණා සියල්ලම සම්පූර්ණ කර ගැනීමෙන් අපට අපගේ මානසික සෞඛ්‍යය ඉතා යහපත් මට්ටමින් පවත්වා ගත හැකි වෙනවා. එය අපට වගේම අප වටා සිටින අයටත් ඉතාම ඵලදායී දෙයක්.